Monday, May 15, 2017

පෙත්සම් විභාගය ඉවරවනතුරු ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න බෑ

ගාල්ල දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු අසුනක් දැරීමට හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.


ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර තීරණයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ ඇයගේ පෙත්සම විභාගයට ගත යුතු බවයි.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනතුරු ඇයට මන්ත්‍රී ධූරයට හිමිකම් නොමැති බවට අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීරණය වී තිබේ.

ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව 2015 වසරේ ගාල්ල දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් කිහිපදෙනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ඉකුත් මැයි 03 දින ලබාදුන් තීන්දුවේ සඳහන් වූයේ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියාවක් නොමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය ලත් අයෙකුට පාර්ලිමේන්තු අසුනක් දැරීමට හැකියාවක් නොමැති අතර ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමි බැවින් ඇයටද මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවට අභියාචනාධිකරණට ඉදිරිපත් කර තිබුණු පෙත්සමේ දැක්විණි.

ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන ඇතුළු විනිසුරු මඩුල්ල විසින් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හිමිකමක් නොමැති බවට තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඉකුත් මැයි 09 වන දින එකී තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් සිදුකරන ලදී.

එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමට අදාළව අද (15) දින දක්වා අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කෙරිණි.

ඒ අනුව අද (15) දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයින් පෙන්වාදී ඇත්තේ තම සේවාදායිකාව විවාහ ජීවිතයට එළඹ ඇත්තේ ස්විට්සර්ලන්ත ජාතිකයෙකු සමග වන බැවින් ඇයට එහි පුරවැසිභාවය හිමිව ඇත්තේ ඉල්ලීමකින් තොරව නිතැතින්ම බවයි.

ඉල්ලා ලබා ගත් පුරවැසිභාවයක් නොවන බැවින් තම සේවාදායිකාවට අදාළව ලබාදුන් තීන්දුව අසාධාරණ බවත්, අනෙක් අතට පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක් නොමැති බැවින් අභියාචනාධිකරණයේ තීන්දුව අහෝසි කරන ලෙස මෙලෙස නීතිඥයින් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් රජයේ නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් පවසා ඇත්තේ කුමන අයුරින් ලැබුණද, තවමත් ඇය ද්විත්ව පුරවැසිභාවය ලැබූ තැනැත්තියක බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ඇයට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බවය.

No comments:

Post a Comment